pic 1
  2016.12.31 දක්වා විශ්‍රාම ගිය සියලු රජයේ නිලධාරීන්,ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ වැන්දඹු අනත්දරු හිමිකම් ලාභීන්ගේ විශ්‍රාම වැටුප්, 2019 අයවැය යෝජනා අනුව 2017 රජයේ වැටුප් ව්‍යුහයන්ට සමාන්තර ලෙස සංශෝධනය කිරීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සාර්ථක අන්දමින් සිදු කෙරුණු අතර තවදුරටත් සංශෝධනය කිරීම සඳහා වන ගැටලු සහිත විශ්‍රාම වැටුප් ලිපිගොණු අධ්‍යයනය කරමින් විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙලක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඔස්සේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙකී විශ්‍රාම වැටුප් සංශෝධන ක්‍රියාවලිය නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් නව තොරතුරු තාක්ෂණ මෘදුකාංගයක් හඳුන්වා දුන් අතර ඇතැම් විශ්‍රාම වැටුප් ලිපිගොණුවල පවතින දෝෂ තත්ත්වයන් හේතුවෙන් දත්ත නිවැරදිව මෙකී තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට නොහැකි වීම හේතුවෙන් පැන නැඟුණු ගැටලු රාශියක් මෙහිදී හඳුනා ගෙන තිබේ. ඒ අනුව පැන නැඟෙන ප්‍රතිපත්තිමය සහ නීතිමය තත්ත්වයන් දැඩි අවධානයකට ලක් කරමින් විසඳුම් ලබා දීම මෙහි දී සිදු වේ.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ බුද්ධික අමල් ජයතිස්ස මහතා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණික උපදේශක එඩ්වඩ් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේ ආරම්භක සැසිය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පසු ගිය දෙසැම්බර් මස 16 දා පැවැත්විණි.ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි මෙම වැඩසටහන අදියර ගණනාවක් යටතේ පැවැත්වීමට නියමිතය.