pic 1
  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අංක 14/2019 අනුව දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යායන්හි මේ වන විට ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් සංශෝධනයේ කොළඹ දිස්ත්‍රික්කයෙහි නවතම තත්ත්වය පිළිබඳ විමසමින් විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා දෙපාර්තමේන්තුව සකස් කරනු ලැබූ විශේෂ ක්‍රියාවලිය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ගණකාධිකාරවරුන් සහ විශ්‍රාම වැටුප් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2019.08.01 දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2016.12.31 දිනට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ වැන්දඹු අනත්දරු හිමිකම්ලාභීන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය පිළිබඳ 14/2019 අංක දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සහ චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු අදියර ගණනාවක දී කොළඹ දිස්ත්‍රික්කයෙහි වැටුප් සංශෝධනය සම්බන්ධ රාජකාරී කරන ගණකාධිකාරිවරුන් සහ විශ්‍රාම වැටුප් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා වැඩමුළු ක්‍රියාත්මක කරන ලදී.

විශ්‍රාම වැටුප් සංශෝධනය තවදුරටත් කාර්යක්ෂම කරමින් විශ්‍රාමිකයන් වෙත එහි ප්‍රතිලාභ හිමිකර දීම කඩිනම් කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම වැඩමුළුවේ දී දෙපාර්තමේන්තුව විසින් වැටුප් සංශෝධන ක්‍රියාවලිය සඳහා නිර්මාණය කළ තොරතුරු තාක්ෂණ මෘදුකාංගයෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ආකාරය පිළිබඳ නැවත එම නිලධාරීන් වෙත පුහුණුවක් ලබා දුන් අතර මෘදුකාංගය සමඟ වැටුප් පරිවර්තනය සිදු කිරීමේ දී මතුවූ ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබා දීම ද මෙහිදී සිදු කෙරිණි.

බස්නාහිර පළාත තුළ සෙසු දිස්ත්‍රික්කයන්හි විශ්‍රාම වැටුප් සංශෝධනයෙහි ප්‍රගතිය සමඟ කොළඹ දිස්ත්‍රික්කයෙහි තත්ත්වය සන්සන්දනය කරමින් බස්නාහිර පළාතෙහි සියලු විශ්‍රාමිකයන් වෙත කඩිනමින් මෙහි ප්‍රතිලාභ ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා, ප්‍රධාන ගණකාධිකාරී ඒ.ඩී.ටී.එන් අබේසිංහ මහතා,අධ්‍යක්ෂ (පාලන) කේ.ආර්.ඒ ධර්මසේන මහතා සහ සහකාර අධ්‍යක්ෂ(තොරතුරු තාක්ෂණ සහ ප්‍රතිපත්ති) බුද්ධික අමල් ජයතිස්ස මහතා සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන ගණකාධිකාරි ජී. ජයවීර මහතා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගණකාධිකාරිවරුන් සහ විශ්‍රාම වැටුප් නිලධාරීන් සහභාගී විය.