pic 1
 2019 අයවැය ප්‍රාකශනය අනුව 2016.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම රජයේ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේත් ඔවුන්ගේ   වැන්දඹුවන්ගේත් විශ්‍රාම වැටුප 2017 වර්ෂයේ රජයේ වැටුප් ව්‍යුහයන්ට සමාන්තර වන ලෙස පරිවර්තනය කිරීමට තීරණය විය. ඒ   අනුව එම පරිවර්තන විශ්‍රාම වැටුප් 2019 ජුලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතී. ඒ   අනුව උක්ත කාර්යය සාර්ථකව හා කඩිනමින් ඉටු කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ මෙවලමක්       හඳුන්වාදීමට කටයුතු කර ඇත.ඒ පිළිබඳ දැණුම්වත් කිරීමේ සාකච්ඡා මාලාවේ ප්‍රථම අදියර ලෙස බස්නාහිර පළාත්   ගණකාධිකාරිවරුන් සමඟ පැවති සාකච්ඡාව 2019.05.03 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී   අදාළ කාර්යය ඉතා කඩිනමින් සිදු කර විශ්‍රාමිකයන්ගේ ප්‍රතිලාභ හිමිගැන්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. නව විශ්‍රාම   වැටුප් පරිවර්තනය මඟින් වසර 25ක් සේවය කළ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අවම වශයෙන් 43%කින් පමණ වැඩිවන බව   ගණන් බලා ඇති අතර ඒ සඳහා මාසිකව රු මිලියන 2000 ක අතිරේක මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.   මෙමඟින් 2017.01.01 වර්ෂයට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් පන්ලක්ෂයකට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවනු ඇති බවට විශ්වාස   කෙරේ.

pic 1
මතින් නිදහස් රටක් බිහි කර ගැනීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ තිරසාර සංවර්ධන සංකල්පය අනුව ක්‍රියාත්මක වූ “බක්මහ දිවුරුම” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව 2019.04.03 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී මතින් නිදහස් රටක් අනාගත පරපුර උදෙසා උරුම කර දීම වෙනුවෙන් ද සියලුම ශ්‍රීලාංකික සහෘද ප්‍රජාව, මතින් නිදහස් උසස් ජාතියක් බවට පත්කරගැනිමේ අරමුණ වෙනුවෙන් ද සිය උපරිම අවංකභාවයෙන් සහ කැපවීමෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා දෙන ලදී.

සමාජ සංස්කෘතික ආර්ථික වශයෙන් මතු වූ අර්බුදයන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාතික නිවාරණ ප්‍රතිපත්තියක් සමාජගත කිරීම තුළින් වළක්වා ගත හැකි අතර රාජ්‍ය නායකයා වශයෙන් අතිගරු ජනාධිපතිවරයා ප්‍රමුඛ අග්‍රාමත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ අනුව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාන්විතය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ලෙස උර දීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා විසින් කෙටි දේශනක් පවත්වමින් දෙපාර්තමේතු නිලධාරීන් අමතනු ලැබීය. බෞද්ධ දහමේ ශ්‍රේෂ්ඨ හරයන් අනුව විෂ මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම වෙළඳාම අකැප වන බවත් ආගම් ජාති බේදයකින් තොරව එකම ජාතියක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් කැපවිය යුතු බවත් බක්මහ දිවුරුම මොහොතකට සීමා කර නොගනිමින් දිගු කාලීන ජීවිතයේ සෑම මොහොතකම ක්‍රියාවට නැංවිය යුතු බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය. තව ද ජාතියම ගොදුරක් බවට පත් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ යම් තොරතුරක් ඇතොත් රජය මඟින් නිරන්තරයෙන් මාධ්‍ය හරහා දැනුම් දෙනු ලබන ආයතන වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ද නිලධාරින් දැනුම්වත් කරනු ලැබීය.

මත්ද්‍රව්‍ය ජාතික නිවාරණ වැඩසටනහෙහි තේමා ගීතය ගායනය කිරීමෙන් අනතුරුව කෙටි උළෙල නිමාවට පත් විය.

pic 1
රාජ්‍ය සේවයේ ආයතන අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් 2019.03.30 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ සුහද ක්‍රිකට් තරගාවලියෙහි සහභාගී වූ සියලුම තරග ජයග්‍රහණය කරමින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කර ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් විය. රාගම හොරපේ ජානක සූරිය බණ්ඩාර ක්‍රීඩාංගනයේ පැවැත්වුණු සුහද ක්‍රිකට් තරගාවලිය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ මැතිවරණ මහා ලේකම් කාර්යාලය සහභාගී විය. එක් තරගයක් පන්දු වාර අට (08) බැගින් වූ මෙම තරගාවලියෙහි ප්‍රථම තරගය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් මැතිවරණ ලේකම් කාර්යාලයත් අතර පැවැත්විණි.එම තරගයෙන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මූලික වටයේ අපරාජිතව අවසන් වටයට පිවිසි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා මැතිවරණ මහා ලේකම් කාර්යාලය තරග වැදුණි.එහිදී කඩුළු දෙකක විශිෂ්ට ජයක් ලබමින් තරගාවලියේ ජයග්‍රහණය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හිමි කර ගන්නා ලදි. තරගාවලිය පුරා සුවිශේෂි ඉනිම් කිහිපයක් දියත් කරමින් අර්ධ ශතකයක් (65) ද සමඟ ලකුණු 115ක් ලබාගත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ශිරෝන් මධුෂාන් තරගාවලියෙහි වීරයා ලෙසත් තීරණාත්මක ලකුණු 31ක් රැස් කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහේෂ් රත්නායක අවසාන තරගයේ වීරයා ලෙසත් සම්මාන හිමි කර ගත්හ. මෙහි අනුශූරතාව මැතිවරණ මහා ලේකම් කාර්යාල කණ්ඩායමට හිමි විය.