pic 1
  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අතර සුහදතාවය,ශාරීරික යෝග්‍යතාව සහ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙපාර්තමේන්තු ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරඟාවලිය 2019.08.17 දින ටොරින්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

දෙපාර්තමේන්තුවේ විවිධ අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් සහභාගී වූ තරඟවාලියේ ශූරතාවය සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක රත්නායක මහතාගේ නායකත්වයෙන් යුත් ‘දිලෙන තරු’ කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරයින් බවට පත් වූයේ ‘ලයන්ස්’ කණ්ඩායමයි.තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශිරෝන් මධුශංක සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මයුමි අබේගුණසේකර සම්මාන හිමි කරගන්නා ලදී.තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක රත්නායක සම්මාන හිමි කර ගත් අතර තරඟාවලියේ දක්ෂතම පිතිකරුට හිමි සම්මාන දිනා ගත්තේ සුසන්ත කුමාර විසිනි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් සහ අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය යන මහත්වරුන් තරඟාවලියට එක්ව සිටි අතර සහෝදර නිලධාරීන් දිරිමත් කිරීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. . 



pic 1
  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අංක 14/2019 අනුව දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යායන්හි මේ වන විට ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් සංශෝධනයේ කොළඹ දිස්ත්‍රික්කයෙහි නවතම තත්ත්වය පිළිබඳ විමසමින් විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා දෙපාර්තමේන්තුව සකස් කරනු ලැබූ විශේෂ ක්‍රියාවලිය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ගණකාධිකාරවරුන් සහ විශ්‍රාම වැටුප් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2019.08.01 දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2016.12.31 දිනට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ වැන්දඹු අනත්දරු හිමිකම්ලාභීන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය පිළිබඳ 14/2019 අංක දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සහ චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු අදියර ගණනාවක දී කොළඹ දිස්ත්‍රික්කයෙහි වැටුප් සංශෝධනය සම්බන්ධ රාජකාරී කරන ගණකාධිකාරිවරුන් සහ විශ්‍රාම වැටුප් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා වැඩමුළු ක්‍රියාත්මක කරන ලදී.

විශ්‍රාම වැටුප් සංශෝධනය තවදුරටත් කාර්යක්ෂම කරමින් විශ්‍රාමිකයන් වෙත එහි ප්‍රතිලාභ හිමිකර දීම කඩිනම් කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම වැඩමුළුවේ දී දෙපාර්තමේන්තුව විසින් වැටුප් සංශෝධන ක්‍රියාවලිය සඳහා නිර්මාණය කළ තොරතුරු තාක්ෂණ මෘදුකාංගයෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ආකාරය පිළිබඳ නැවත එම නිලධාරීන් වෙත පුහුණුවක් ලබා දුන් අතර මෘදුකාංගය සමඟ වැටුප් පරිවර්තනය සිදු කිරීමේ දී මතුවූ ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබා දීම ද මෙහිදී සිදු කෙරිණි.

බස්නාහිර පළාත තුළ සෙසු දිස්ත්‍රික්කයන්හි විශ්‍රාම වැටුප් සංශෝධනයෙහි ප්‍රගතිය සමඟ කොළඹ දිස්ත්‍රික්කයෙහි තත්ත්වය සන්සන්දනය කරමින් බස්නාහිර පළාතෙහි සියලු විශ්‍රාමිකයන් වෙත කඩිනමින් මෙහි ප්‍රතිලාභ ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා, ප්‍රධාන ගණකාධිකාරී ඒ.ඩී.ටී.එන් අබේසිංහ මහතා,අධ්‍යක්ෂ (පාලන) කේ.ආර්.ඒ ධර්මසේන මහතා සහ සහකාර අධ්‍යක්ෂ(තොරතුරු තාක්ෂණ සහ ප්‍රතිපත්ති) බුද්ධික අමල් ජයතිස්ස මහතා සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන ගණකාධිකාරි ජී. ජයවීර මහතා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගණකාධිකාරිවරුන් සහ විශ්‍රාම වැටුප් නිලධාරීන් සහභාගී විය. 



pic 1
  2019 අයවැය යෝජනා අනුව 2016.12.31 දක්වා විශ්‍රාම ගිය සියලු රාජ්‍ය නිලධරීන්,ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ වැන්දඹු හිමිකම් ලාභීන්ගේ විශ්‍රාම වැටුප් පරිවර්තන ක්‍රියාවලිය දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි මේ වන විට යුහුසුළුව සිදු වෙමින් පවතී. ඒ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ඉතා සාර්ථකව අදාල විශ්‍රාම වැටුප්, 2017 රජයේ වැටුප් ව්‍යුහයන්ට ගළපා අවසන් කර ඇත.සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් නිලධාරීන් ඇතුළු සමස්ත කාර්යමණ්ඩල දැඩි කැපවීමකින් දිවා රාත්‍රී රාජකාරී සේවාවන් සිදු කරමින් වැටුප් පරිවර්තන ක්‍රියාවලියෙහි නිරත වෙමින් සිටී. විශ්‍රාම වැටුප් පරිවර්තනය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කර ඇති අතර එමඟින් විශ්‍රාම වැටුප් ගණනය කිරීම් සියයට සියයක නිරවද්‍යතාවයකින් සහ විනිවිදභාවයකින් හා කඩිනමින් සිදු වේ. එමෙන්ම විශ්‍රාම වැටුප් ගණනය කිරීම් නියමිත වැටුප් තලවලට හා විශ්‍රාම වැටුප් ප්‍රතිශත අනුව ස්වයංක්‍රීයව සිදුවන අතර සාමාන්‍ය ක්‍රමවේදය අනුව ගණනය කිරීමට ගතවන කාලයට සාපේක්ෂව ඉතා අඩු කාලයක් තුළ පරිවර්තනයක් සිදු කිරීමට හැකියාව ඇත. සංශෝධිත විශ්‍රාම වැටුප් ජුලි මාසයේ සිට විශ්‍රාම වැටුපට එක් කිරීම ආරම්භ කෙරුණු අතර එළඹෙන මාස දෙක තුළ දී සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් පරිවර්තනය සිදු කර අවසන් කිරීමට හැකි වනු ඇති බවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි. තව ද නව වැටුප් පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන් මාලාව මේ වන විට ද අඛණ්ඩව සිදු කෙරෙයි.ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් පුහුණු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක විය. එම වැඩමුළුවල ඡායාරූප කිහිපයක් හා විශ්‍රාම වැටුප් පරිවර්තනයේ යුහුසුළුව යෙදී සිටින නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත. .