pic 1
රාජ්‍ය සේවයේ ආයතන අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් 2019.03.30 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ සුහද ක්‍රිකට් තරගාවලියෙහි සහභාගී වූ සියලුම තරග ජයග්‍රහණය කරමින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කර ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් විය. රාගම හොරපේ ජානක සූරිය බණ්ඩාර ක්‍රීඩාංගනයේ පැවැත්වුණු සුහද ක්‍රිකට් තරගාවලිය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ මැතිවරණ මහා ලේකම් කාර්යාලය සහභාගී විය. එක් තරගයක් පන්දු වාර අට (08) බැගින් වූ මෙම තරගාවලියෙහි ප්‍රථම තරගය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් මැතිවරණ ලේකම් කාර්යාලයත් අතර පැවැත්විණි.එම තරගයෙන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මූලික වටයේ අපරාජිතව අවසන් වටයට පිවිසි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා මැතිවරණ මහා ලේකම් කාර්යාලය තරග වැදුණි.එහිදී කඩුළු දෙකක විශිෂ්ට ජයක් ලබමින් තරගාවලියේ ජයග්‍රහණය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හිමි කර ගන්නා ලදි. තරගාවලිය පුරා සුවිශේෂි ඉනිම් කිහිපයක් දියත් කරමින් අර්ධ ශතකයක් (65) ද සමඟ ලකුණු 115ක් ලබාගත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ශිරෝන් මධුෂාන් තරගාවලියෙහි වීරයා ලෙසත් තීරණාත්මක ලකුණු 31ක් රැස් කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහේෂ් රත්නායක අවසාන තරගයේ වීරයා ලෙසත් සම්මාන හිමි කර ගත්හ. මෙහි අනුශූරතාව මැතිවරණ මහා ලේකම් කාර්යාල කණ්ඩායමට හිමි විය.

pic 1
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස පත්කිරිමේ ජාතික වැඩසටහනට සමගාමීව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුභසාධක සංගමය හා කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කළ ධර්ම දේශනා පිංකම 2019.03.22 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. සැදැහැවත් බෞද්ධයන් ලෙස ත්‍රිපිටක දහම රැක ගැනීමේ ඇති වැදගත් කම සිහිපත් කරමින් කඩුවෙල මහමෙවුනා අසපුව ධර්මාශ්‍රමයේ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මෙම දහම් දෙසුම පවත්වනු ලැබිණි. ථේරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ලෙස සැලකෙන මහා රහතුන් වහනසේ විසින් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටක දහම ග්‍රන්ථාරූඪ කරමින් සංරක්ෂණය කර ගනු ලැබූ ජාතියක් ලෙස බෞද්ධ දර්ශනයේ මෙම ගැඹුරු දහම් එකතුව ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව ත්‍රිපිටක දහම ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා පිළිවෙතින් පෙළ ගැසිය යුතු බවත් උන්වහන්සේ මෙහිදී අනුදැන වදාළ සේක. මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩි.ඩයස් මහතා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා,අධ්‍යක්ෂ රුසිත ධර්මසේන මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි වූහ.