pic 1

විශ්‍රාමිකයන්ගේ දුම්රිය බලපත්‍රවලට අදාළව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය තව දුරටත් සරල හා පහසු කරමින් දුම්රිය බලපත්‍ර ලබා ගැනීමේ දී සෘජුවම දුම්රිය ස්ථානවලින් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබේ.

මේ සඳහා මීට පෙර පැවති ක්‍රමවේදය වන්නේ විශ්‍රාමිකයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පතක් ලබාගෙන ග්‍රාම නිලධාරි හරහා සම්පූර්ණ කරන ලද අයදුම්පත නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර නිදහස් දුම්රිය බලපත්‍ර ලබා ගෙන  දුම්රිය ස්ථාන වෙත ගොස් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම වේ. මෙය විශ්‍රාමිකයන්ගේ කාලය හා ශ්‍රමය වැයවන දුෂ්කර ක්‍රමවේදයක් බැවින් බොහෝ විශ්‍රාමිකයින් සිය නිදහස් දුම්රිය බලපත්‍රය භාවිතයට නොගෙන අත්හැර දමන අවස්ථා සුලබ විය.

මෙම ක්‍රමය 2016 වසරේ දී වෙනස් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සෘජුවම දුම්රිය බලපත්‍ර ලබාගෙන ඊට අදාළ ප්‍රවේශ පත්‍ර දුම්රිය ස්ථාන හරහා ලබා දීම ආරම්භ කරන ලදී.

මෙම සියලු තත්ත්වයන් වෙනස් කරමින් විශ්‍රාමිකයා වෙත සෘජුවම දුම්රිය ස්ථාන වෙත සිය හැඳුනුම්පත ඉදිරිපත් කර නිදහස් ප්‍රවේශ පත්‍ර ලබා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා මොබිටෙල් ආයතනය ඒකාබද්ධව කටයුතු සලසා ඇත.එමඟින් විශ්‍රාමිකයාට විශාල පහසුවක් සලසා ඇති අතර රජයට විශාල පරිපාලන පිරිවැයක් ද ඉතුරු කර දී තිබේ.

මේ සම්බන්ධ මූලික සාකච්ඡාව 2020.02.14 වන දින ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර දෙවැනි වටයේ සාකච්ඡා අද (17) වන දා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා,දුම්රිය සාමාන්‍යධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය 2020 පෙබරවාරි මස 19 වන දින නියමු ව්‍යාපෘතියක් ලෙස කොටුව දුම්රිය ස්ථානයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබේ.

වාර්ෂිකව විශ්‍රාමිකයන් සඳහා දුම්රිය බලපත්‍ර ලක්ෂයක් පමණ නිකුත් කරනු ලබන අතර එමඟින් දුම්රිය දෙපාර්තමේන්තුව රු. මිලියන 150 ක පමණ වාර්ෂික ආදායමක් ලබයි.