pic 1

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට හිමි දුම්රිය බලපත්‍ර ලබා ගැනීමේ දී මෙතෙක් පැවති දුෂ්කරතාවයන් ඉවත් කරමින් සෘජුව ම දුම්රිය ස්ථානය වෙත සිය විශ්‍රාමික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර තත්ත්පර කිහිපයක් තුළ මාර්ගගත ක්‍රමයට E ප්‍රවේශපත්‍ර (ආසන වෙන් කර ගැනීම) ලබා ගැනීමේ ව්‍යාපෘතිය, ගරු ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්,ගරු රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ ගරු රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) කොටුව දුම්රිය ස්ථානයේ දී ආරම්භ විය.

නියමු වැඩසටහන ලෙසින් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ දී විශ්‍රාමික ප්‍රජාව සංකේතවත් වන පරිදි විශ්‍රාමිකයන් කිහිප දෙනෙකු වෙත E ප්‍රවේශපත්‍ර එම අවස්ථාවේදී ම ලබා දීම සිදු විය.

විශ්‍රාමිකයන් වෙත දුම්රිය බලපත්‍ර ලබා දීමේ දී පෙර පැවති ක්‍රමවේදය අනුව විශ්‍රාමිකයාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුම්රිය බලපත්‍ර ලබාගෙන ග්‍රාම නිලධාරි වරයා විසින් එය සම්පූර්ණ කර නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දී දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන එය දුම්රිය ස්ථානය වෙත ගෙන ගොස් භාරදීම මඟින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සිදු විය. පැවති ක්‍රමයේ පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් බොහෝ විශ්‍රාමිකයන් දුම්රිය බලපත්‍ර ලබා ගැනීම අත්හැර දමනු ලැබූ වාතාවරණයක නූතන තාක්ෂණික ක්‍රමවේදයන් හරහා කාලීන අවශ්‍යතාවයන් සරල කිරීමේ පියවරක් ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙමඟින්  දිවයින පුරා දුම්රිය ස්ථාන 53 ක දී මෙම සේවාව මාර්තු මස 01 වෙනිදා සිට ලබා ගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව සැලසේ.

ඒ අනුව විශ්‍රාමිකයන්ට සිය ජාතික හැඳුනුම්පත හෝ විශ්‍රාමික හැඳුනුම්පත අදාළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය හරහා E ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ හැකියාව තිබේ.

E - ප්‍රවේශ පත්‍ර විශ්‍රාමිකයන් වෙත පිරිනැමීමේ සමාරම්භක අවස්ථාවට එක් වූ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්, නව ක්‍රමවේදය මත විශ්‍රාමිකයාගේ කාලය සහ ශ්‍රමය අපතේ යවන ලද පෙර පැවති සංකීර්ණ ක්‍රමවේදය වෙනස් වීම හේතුවෙන් විශ්‍රාමිකයන්ට ඉමහත් පහසුවක් සැලසෙන බවත් දැනට රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ට ක්‍රියාත්මක කරන මෙම සේවාව ඉදිරියේ දී රාජ්‍ය අංශයේ නිලධාරීන්ට මෙන්ම පෞද්ගලික අංශය වෙත ද ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව ද සඳහන් කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සියලුම රාජ්‍ය සේවාවන් පහසු කිරීම සහ සරල කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති අතර ඒ අනුව යමින් විශ්‍රාමිකයන් සඳහා දුම්රිය බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය කෙටි කාල සීමාවක් තුළ සරල  සහ පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලබා දීම ජයග්‍රහණයක් බව මෙම අවස්ථාවට එක් වූ ලසන්ත අලගියවන්න අමාත්‍යතුමන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන් වෙත ලබා දෙන සේවාවන් නවීන තාක්ෂණය සමඟ බද්ධ කරමින් සරල ක්‍රමවේදයන් බවට පත් කිරීමට නිරන්තර උත්සාහ ගනු ලබන රාජ්‍ය ආයතනයක් වේ.දුම්රිය ප්‍රවේශ පත්‍ර,දුම්රිය ස්ථානයෙන්ම ලබා ගැනීමේ නව ක්‍රමවේදය විශ්‍රාමිකයන් සඳහා හඳුන්වා දෙනු ලබන වඩාත් සුවිශේෂී සේවාවක් වනු ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමන් සඳහන් කළේය.එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා දිනකට එන මහජනතාවගේ ප්‍රමාණය ද මෙවැනි ව්‍යාපෘති හරහා අවම කර ගැනීමට හැකි වෙතැයි සඳහන් කරනු ලැබීය.

මෙම අවස්ථාවට ගරු ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්,ගරු රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්,ගරු රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන්,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සිරිල් හෙට්ටිආරච්චි මැතිතුමන්,ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මැතිතුමන්,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා,දුම්රිය සාමාන්‍යධිකාරි එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා,ඩිජිටල් තොරතුරු හා යටිතල පහසුකම් සංවර්ධන අංශයේ අතිරේක ලේකම් වරුණ ධනපාල මැතිතුමන්, මොබිටෙල් ආයතනයේ නිලධාරීන්,විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කරමින් විශ්‍රාමිකයින් ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් එක් වී සිටියේය.