finger print

විශ්‍රාමික ජීවිත සහතිකය ඇඟිලි සලකුණු මඟින් ලබාදීමේ ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වෙමින් දිවයින පුරා සිය ශාඛා කාර්යාල වෙතින් ඒ සඳහා පහසුකම් සලසන ආයතන අතරට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද එක් වෙයි. විශ්‍රාමික ජීවිත සහතිකය ලබා දීමේ දී පැවති සංකීර්ණ ක්‍රම්වේදය සරල කරමින් 2020 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇඟිලි සලකුණු (Bio Metric)  ඔස්සේ ජීවිත සහතිකය ලබා දීමේ ක්‍රමවේදය විශ්‍රාමික ප්‍රජාව වෙත මුල්වරට හඳුන්වා දෙනු ලැබීය.

නව ක්‍රමවේදය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ දිවයින පුරා නම් කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ඔස්සේ ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතික ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ විය.පසුව මෙහි දෙවැනි සහ තෙවැනි අදියර යටතේ පෑන් ඒෂියා බැංකුවේ ශාඛා කාර්යාල 40 කදී ත් මහජන බැංකුවේ ශාඛා 75 කදී ත් විශ්‍රාමිකයන්ට සුළු මොහොතකින් සිය ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතිකය ලබා දීමට හැකි පරිදි පහසුකම් සහ සේවා ලබා දීම සිදු කෙරිණි.

ජීවිත සහතිකය ඇඟිලි සලකුණ මඟින් ලබා දීමේ නියාමක ව්‍යාපෘතිය කෙරෙහි විශ්‍රාමිකයන්ගේ සහභාගීත්වයේ දී ලැබෙන ඉහළ ප්‍රතිචාර සලකමින් ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 02/2020 (සංශෝධන V) චක්‍රලේඛය නිකුත් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේ දී  ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා ඔස්සේ ද විශ්‍රාමිකයන්ට ඇඟිලි සලකුණු ලබා දීමේ හැකියාව ලබා දී ඇත. දිවයින පුරා ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා 20 ක් තුළ ජීවිත සහතික ඇඟිලි සලකුණු මඟින් ලබා දීමේ පහසුකම් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.