forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ආර්ථික වශයෙන් අභියෝගාත්මක කාල සීමාවක් ගත කරමින් සිටින අවස්ථාවේ ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික සුබ සාධනය කෙරෙහි අවධානය යොමු කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළැඳසැල් ජාලයක් වන කාර්ගිල්ස් ආයතනය ඒකාබද්ධ වී විශ්‍රාමිකයන් වෙත ආර්ථික සහන රැසක් ලබා දීමේ වැඩපිළිවෙල ප්‍රශංසනීය බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පවසනු ලැබීය.

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් මේ බව ප්‍රකාශ කළේ විශ්‍රාමිකයන් සඳහා සහන ලබා දීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා කාර්ගිල්ස් ආයතනය සමඟ වන ගිවිසුම සංකේතාත්මකව හුවමාරු කර ගැනීම හා විශ්‍රාමික සුභ සාධක වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2022.03.10 එනම් අද දින පැවති මාධ්‍ය හමුව අතරතුර දී ය.

මෙම වැඩසටහන යටතේ කාර්ගිල්ස් ආයතන මඟින් විශ්‍රාමිකයන් සඳහාම විශේෂිත වූ සහන රැසක් ලබා දීම සිදුකරයි. ඒ අනුව ඕනෑම විශ්‍රාමිකයකුට දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳ සැල් සහ ෆාමසි 480 ක් අතරින් ඕනෑම වෙළඳසැලක ට ගොඩ වී අතිවිශේෂ වට්ටම් යටතේ ගණුදෙනු කිරීමට හැකියාව ලැබේ. මෙම වැඩසටහන ඔස්සේ විශ්‍රාමිකයන් සඳහා කාර්ගිල්ස් අනුබද්ධ සුපිරි වෙළඳසැල් ජාලයේ ඕනෑම වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමේ දී බිල්පතෙහි මුළු එකතුව සඳහා (Total Bill) 5% ක වට්ටමක් ලබා දීම මෙහි දී සිදු වෙයි. රු 1500 කට වැඩි අවම මිලදී ගැනීමක් සඳහා මෙම වට්ටම අදාළ වන අතර මසකට උපරිම මිලදී ගැනීමේ සීමාව රු 15,000 කි. සෑම මාසයක දීම සහ විශේෂයෙන් විශ්‍රාම වැටුප් සතිය තුළ විශ්‍රාමිකයන්ට තෝරාගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමට ද මේ යටතේ කටයුතු කර තිබීම විශේෂත්වයකි.

වැඩි අලෙවියක් සහිත නිෂ්පාදන මෙන්ම විශ්‍රාමිකයන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව‍ය ලෙස සැලකෙන සෞඛ්‍ය හා පෝෂණ නිෂ්පාදන කෙරෙහි එම වට්ටම් අදාළ වනු ඇත.

කාර්ගිල්ස් සමූහයට අයත් KFC ජාලය,සිනමාහල් මෙන්ම කාර්ගිල්ස් බැංකු යටතේ ද සුවිශේෂී සහන හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මේ අනුව KFC අවන්හල් ඔස්සේ විශ්‍රාමිකයන් සිදු කරන රු 5000 ට වැඩි බිල්පත් සඳහා 10% ක වට්ටමක් හිමි වේ. කාර්ගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Ceylon Theater සිනමා හල් වලින් ද ටිකට්පත් මිල දී ගැනීමේ දි 25% ක වට්ටමක් පිරිනැමීමට ද කටයුතු කරනු ලබයි.

එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ මාසික විශ්‍රාම වැටුප කාර්ගිල්ස් බැංකුව හරහා ලබා ගන්නා විශ්‍රාමිකයන් සඳහා ප්‍රතිලාභ රැසක් ලබා දීමට පියවර ගෙන තිබේ.

විශ්‍රාමිකයන් සඳහා වූ මෙම සහන පැකේජය 2022.03.10 වැනි දින සිට ක්‍රියාත්මක වන අතර විශ්‍රාමිකයන්ට දිවයින පුරා කාර්ගිල්ස් ආයතන වෙතින් මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට ඒ අනුව හැකියාව පවතී.

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, එම අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්න්සිරි මහතා ජ්‍යෙෂ්ඨ උපදේශක මහින්ද මඩිහේවා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්, කාර්ගිල්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අශෝක පීරිස් මහතා, අලෙවි ප්‍රධානි සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.පී ජයවර්ධන මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් එක් විය.