pic 1
රාජ්‍ය සේවයේ ආයතන අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් 2019.03.30 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ සුහද ක්‍රිකට් තරගාවලියෙහි සහභාගී වූ සියලුම තරග ජයග්‍රහණය කරමින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කර ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් විය. රාගම හොරපේ ජානක සූරිය බණ්ඩාර ක්‍රීඩාංගනයේ පැවැත්වුණු සුහද ක්‍රිකට් තරගාවලිය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ මැතිවරණ මහා ලේකම් කාර්යාලය සහභාගී විය. එක් තරගයක් පන්දු වාර අට (08) බැගින් වූ මෙම තරගාවලියෙහි ප්‍රථම තරගය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් මැතිවරණ ලේකම් කාර්යාලයත් අතර පැවැත්විණි.එම තරගයෙන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මූලික වටයේ අපරාජිතව අවසන් වටයට පිවිසි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා මැතිවරණ මහා ලේකම් කාර්යාලය තරග වැදුණි.එහිදී කඩුළු දෙකක විශිෂ්ට ජයක් ලබමින් තරගාවලියේ ජයග්‍රහණය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හිමි කර ගන්නා ලදි. තරගාවලිය පුරා සුවිශේෂි ඉනිම් කිහිපයක් දියත් කරමින් අර්ධ ශතකයක් (65) ද සමඟ ලකුණු 115ක් ලබාගත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ශිරෝන් මධුෂාන් තරගාවලියෙහි වීරයා ලෙසත් තීරණාත්මක ලකුණු 31ක් රැස් කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහේෂ් රත්නායක අවසාන තරගයේ වීරයා ලෙසත් සම්මාන හිමි කර ගත්හ. මෙහි අනුශූරතාව මැතිවරණ මහා ලේකම් කාර්යාල කණ්ඩායමට හිමි විය.