fb banner

 

 

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිංහල දමිළ අලුත් අවුරුදු පණිවුඩය
 
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එක් වීමයි. සහෝදරත්වයෙන්  යා වීමයි. වාර්ගික වශයෙන්, ජාතීන් වශයෙන්, දේශපාලනික වශයෙන් බෙදී වෙන්වී නොගොස් එකමුතු වී එක්සත් වීම සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ සැබෑම හරය විය.ඇත්ත වශයෙන්ම රටේ සියලුම පුරවැසියන් ජාති ආගම් භේදයකින් තොරව එකට එක් කළ වෙනත් සංස්කෘතික උළෙලක් අපේ රටට නැති තරම් ය.
 
නිදහසින් පසු වසර 74 කට අධික කාලයක් සියලු පුරවැසියන්ගේ දායකත්වයෙන්  නිර්මාණය කර ගත් වියවුල් රැසක් පරිසමාප්තියට පත් වුණු මොහොතක තවත් සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් උදා වී තිබේ. 
 
එසේ වුවද අලුත් අවුරුද්දෙහි සැබෑ හරය අමතක කළ යුතු නැත. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන සුවිශේෂි කාල සීමාව තුළ රටක් ලෙස අපගේ දිශානතිය කොයිබට විය යුතුද යන්න සිතීමට වෙන් කර ගැනීම සුදුසුය.
 
ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවද  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එහි කාර්ය මණ්ඩලය, සියලු රාජ්‍ය ආයතන, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, තැපැල් පති ප්‍රමුඛ එම කාර්ය මණ්ඩල, රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, ග්‍රාමීය බැංකු ඇතුළු සමස්ත පද්ධතියේම සහාය ලබා ගෙන 675,000 ක පමණ වන ඔබ වෙත අඛණ්ඩව විශ්‍රාමික ප්‍රතිලාභ ලබා දීම සඳහා කැපවූ බව සිහිපත් කරමි.
 
රටේ වියතුන්, උගතුන්, බුද්ධිමතුන් හා අත්දැකීම් බහුල පරිණත මිනිසුන්ගේ විශාලතම එකමුතුව ලෙස ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාව හඳුන්වාදිය හැකිය. ඔබගේ අදහස් හා මතවාදයන් හි වෙනස්කම්,එකඟවීම් සහ විරෝධතාවයන් එසේම තබාගෙන අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සිදු  වූ වැරදි හා අතපසුවීම් පසෙකලා රට පෙරටුව තබාගෙන යහපත් ආකල්ප සහිත තරුණ ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා ඔබේ තරුණ දරුවන්ට, දරු මුණුපුරන්ට ඒ මඟ කියාදීම සඳහා මේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යොදාගන්නා ලෙස ඉල්ලමි.
 
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ සැමටත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටත් ශ්‍රී ලංකාවාසී සෑම සියලු දෙනාටත් සාමය,සහනය,සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
 
ඒ ජගත් ඩී ඩයස්
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්
 

          

             
               
 

 

forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ආර්ථික වශයෙන් අභියෝගාත්මක කාල සීමාවක් ගත කරමින් සිටින අවස්ථාවේ ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික සුබ සාධනය කෙරෙහි අවධානය යොමු කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළැඳසැල් ජාලයක් වන කාර්ගිල්ස් ආයතනය ඒකාබද්ධ වී විශ්‍රාමිකයන් වෙත ආර්ථික සහන රැසක් ලබා දීමේ වැඩපිළිවෙල ප්‍රශංසනීය බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පවසනු ලැබීය.

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් මේ බව ප්‍රකාශ කළේ විශ්‍රාමිකයන් සඳහා සහන ලබා දීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා කාර්ගිල්ස් ආයතනය සමඟ වන ගිවිසුම සංකේතාත්මකව හුවමාරු කර ගැනීම හා විශ්‍රාමික සුභ සාධක වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2022.03.10 එනම් අද දින පැවති මාධ්‍ය හමුව අතරතුර දී ය.

මෙම වැඩසටහන යටතේ කාර්ගිල්ස් ආයතන මඟින් විශ්‍රාමිකයන් සඳහාම විශේෂිත වූ සහන රැසක් ලබා දීම සිදුකරයි. ඒ අනුව ඕනෑම විශ්‍රාමිකයකුට දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳ සැල් සහ ෆාමසි 480 ක් අතරින් ඕනෑම වෙළඳසැලක ට ගොඩ වී අතිවිශේෂ වට්ටම් යටතේ ගණුදෙනු කිරීමට හැකියාව ලැබේ. මෙම වැඩසටහන ඔස්සේ විශ්‍රාමිකයන් සඳහා කාර්ගිල්ස් අනුබද්ධ සුපිරි වෙළඳසැල් ජාලයේ ඕනෑම වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමේ දී බිල්පතෙහි මුළු එකතුව සඳහා (Total Bill) 5% ක වට්ටමක් ලබා දීම මෙහි දී සිදු වෙයි. රු 1500 කට වැඩි අවම මිලදී ගැනීමක් සඳහා මෙම වට්ටම අදාළ වන අතර මසකට උපරිම මිලදී ගැනීමේ සීමාව රු 15,000 කි. සෑම මාසයක දීම සහ විශේෂයෙන් විශ්‍රාම වැටුප් සතිය තුළ විශ්‍රාමිකයන්ට තෝරාගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමට ද මේ යටතේ කටයුතු කර තිබීම විශේෂත්වයකි.

වැඩි අලෙවියක් සහිත නිෂ්පාදන මෙන්ම විශ්‍රාමිකයන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව‍ය ලෙස සැලකෙන සෞඛ්‍ය හා පෝෂණ නිෂ්පාදන කෙරෙහි එම වට්ටම් අදාළ වනු ඇත.

කාර්ගිල්ස් සමූහයට අයත් KFC ජාලය,සිනමාහල් මෙන්ම කාර්ගිල්ස් බැංකු යටතේ ද සුවිශේෂී සහන හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මේ අනුව KFC අවන්හල් ඔස්සේ විශ්‍රාමිකයන් සිදු කරන රු 5000 ට වැඩි බිල්පත් සඳහා 10% ක වට්ටමක් හිමි වේ. කාර්ගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Ceylon Theater සිනමා හල් වලින් ද ටිකට්පත් මිල දී ගැනීමේ දි 25% ක වට්ටමක් පිරිනැමීමට ද කටයුතු කරනු ලබයි.

එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ මාසික විශ්‍රාම වැටුප කාර්ගිල්ස් බැංකුව හරහා ලබා ගන්නා විශ්‍රාමිකයන් සඳහා ප්‍රතිලාභ රැසක් ලබා දීමට පියවර ගෙන තිබේ.

විශ්‍රාමිකයන් සඳහා වූ මෙම සහන පැකේජය 2022.03.10 වැනි දින සිට ක්‍රියාත්මක වන අතර විශ්‍රාමිකයන්ට දිවයින පුරා කාර්ගිල්ස් ආයතන වෙතින් මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට ඒ අනුව හැකියාව පවතී.

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, එම අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්න්සිරි මහතා ජ්‍යෙෂ්ඨ උපදේශක මහින්ද මඩිහේවා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්, කාර්ගිල්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අශෝක පීරිස් මහතා, අලෙවි ප්‍රධානි සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.පී ජයවර්ධන මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් එක් විය.

          

             
               
 

forigen pen21forigen pen21

2022.01.19 දිනැති සහ අංක 2263/5 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ "2අඅ" සහ "17" වැනි වගන්ති සම්පූර්ණයෙන් ඉවත් කර රාජ්‍ය නිලධාරින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය තවදුරටත් සංශෝධනය කර ඇත.

එමඟින් විශ්‍රාම වැටුප් ව්යවස්ථා සංග්‍රහයේ 'ට' උපලේඛනය යටතේ විශ්‍රාම ගැන්වෙන නිලධාරින් විශ්‍රාම ගැන්වෙන කාල සීමාව,ඔවුන්ගේ වැටුප් පරිමාවන් ගණනය සහ සංශෝධනය වන ආකාර පිළිබඳ නව සංශෝධන රැසක් සිදු කර තිබේ.
 
එමෙන්ම වයස අවුරුදු පනස් පහ සම්පුර්ණ වූ පසු ඕනෑම රාජ්‍ය සේවකයකුට සිය අභිමතය පරිදි විශ්‍රාම ගැන්වීමට මෙමඟින් අවස්ථාව ලබා දී ඇත. නිසි බලධාරියකු විසින් සේවයේ රඳවා තබා ගන්නා හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් හෝ වෙනත් නීතියක් මඟින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස  නිශ්චිතව තීරණය කර ඇති නිලධාරින් හැර සියලුම සිවිල් රාජ්‍ය නිලධාරින් වයස අවුරුදු 65 න් විශ්‍රාම ගැනීම අනිවාර්ය කෙරෙන පරිදි විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කර තිබේ.