finger print

වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් හි 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාර්ගගත (Online) දත්ත පද්ධතියේ නැවත ලියාපදිංචි වීම සඳහා ලබා දුන් කාල සීමාව දීර්ඝ කිරීම සඳහා වූ චක්‍රලේඛය මේ වන විට නිකුත් වී ඇත.

2021.02.10 දින නිකුත් කරනු ලැබූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/2017 (V) අනුව එකී ලියාපදිංචි වීම් සඳහා ලබා දී තිබූ අවසන් දිනය 2021.07.31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විටත් 82 / 83 හා M/F කාණ්ඩවලට අයත් වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු අංක ලබා ගෙන ඇති නමුත් තවමත් මාර්ගගත ක්‍රමය යටතේ තම තොරතුරු ලියාපදිංචියට ඇතුළත් නොකරන ලද සියලු නිලධාරීන් තම තොරතුරු 2021.07.31 දිනට පෙර ඇතුළත් කළ යුතුය.

පහත චක්‍රලේඛය අනුව විශ්‍රාම වැටුප් සහිත තනතුරුවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් වැන්දඹු අනත්දරු ක්‍රමයේ ලියාපදිංචි විය යුතුය.ඒ අනුව 2021.07.31 දිනට පෙර රාජ්‍ය සේවයට බැඳී මාර්ගගත ක්‍රමය ඔස්සේ තම වැන්දඹු හා අනත්දරු සාමාජිකත්වය තහවුරු කර ගෙන නොමැති සියලු දෙනාම මේ යටතේ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය වේ.ඒ ඔස්සේ විශ්‍රාම වැටුප් හිමිගැන්වීමේ දී සිදු විය හැකි අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට ද රාජ්‍ය නිලධාරීන්ට හැකි වනු ඇත.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/2017 (V) සඳහා මෙතැනින් පිවිසෙන්න.

finger print

විශ්‍රාමික ජීවිත සහතිකය ඇඟිලි සලකුණු මඟින් ලබාදීමේ ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වෙමින් දිවයින පුරා සිය ශාඛා කාර්යාල වෙතින් ඒ සඳහා පහසුකම් සලසන ආයතන අතරට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද එක් වෙයි. විශ්‍රාමික ජීවිත සහතිකය ලබා දීමේ දී පැවති සංකීර්ණ ක්‍රම්වේදය සරල කරමින් 2020 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇඟිලි සලකුණු (Bio Metric)  ඔස්සේ ජීවිත සහතිකය ලබා දීමේ ක්‍රමවේදය විශ්‍රාමික ප්‍රජාව වෙත මුල්වරට හඳුන්වා දෙනු ලැබීය.

නව ක්‍රමවේදය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ දිවයින පුරා නම් කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ඔස්සේ ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතික ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ විය.පසුව මෙහි දෙවැනි සහ තෙවැනි අදියර යටතේ පෑන් ඒෂියා බැංකුවේ ශාඛා කාර්යාල 40 කදී ත් මහජන බැංකුවේ ශාඛා 75 කදී ත් විශ්‍රාමිකයන්ට සුළු මොහොතකින් සිය ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතිකය ලබා දීමට හැකි පරිදි පහසුකම් සහ සේවා ලබා දීම සිදු කෙරිණි.

ජීවිත සහතිකය ඇඟිලි සලකුණ මඟින් ලබා දීමේ නියාමක ව්‍යාපෘතිය කෙරෙහි විශ්‍රාමිකයන්ගේ සහභාගීත්වයේ දී ලැබෙන ඉහළ ප්‍රතිචාර සලකමින් ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 02/2020 (සංශෝධන V) චක්‍රලේඛය නිකුත් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේ දී  ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා ඔස්සේ ද විශ්‍රාමිකයන්ට ඇඟිලි සලකුණු ලබා දීමේ හැකියාව ලබා දී ඇත. දිවයින පුරා ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා 20 ක් තුළ ජීවිත සහතික ඇඟිලි සලකුණු මඟින් ලබා දීමේ පහසුකම් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

Untitled 1

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2015 (සංශෝධන iv) අනුව විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා එතෙක් තැපැල් මාර්ගිකව පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ගනු ලැබූ විශ්‍රාම වැටුප් අයදුම්පත්‍ර මාර්ගතව (0nline) සහ තැපැල් මාර්ගිකව යන දෙයාකාරයෙන්ම ගෙන්වා ගැනීම ආරම්භ කෙරිණි.

 තැපැල් මාර්ගිකව පමණක් ගෙන්වා ගැනීමේ දී පැවති අභියෝග,බාධක සහ දුෂ්කරතා මාර්ගගතව අයදුපත්‍ර ගෙන්වා ගැනීමේ දී අවම කෙරුණු අතර විශ්‍රාම වැටුප් නියමිත වේලාවටම සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය ද එමඟින් වඩාත් කාර්යක්ෂම වූ බව නිරීක්ෂණය කරනු ලැබීය.

විශ්‍රාම ලබා එළඹෙන පළමු මාසය තුළම විශ්‍රාමිකයා වෙත විශ්‍රාම වැටුප ලබා දීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම අරමුණ සාක්ෂාත් කිරීම කෙරෙහි නව ක්‍රමවේදය මඟින් සුවිශාල දායකත්වයක් ලැබිණි.

රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ දී ඒ හා සම්බන්ධ වී සිය නිලධාරීන්ගේ අයදුම්පත්‍ර විශ්‍රාම වැටුප් දෙදෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන සියලුම රාජ්‍ය ආයතන මාර්ගගත ක්‍රමවේදය සමඟ සම්බන්ධ වී පහසුවෙන් සහ යුහුසුළුව එම කටයුතු සිදු කිරීම මෙහි දී නිරීක්ෂණය වූ සුවිශේෂීතම පරිවර්තනයකි.

මෙකී සියලු තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් 2021.02.01 දින සිට මාර්ගගතව පමණක් විශ්‍රාම වැටුප් අයදුම්පත්‍ර ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2015 (සංශෝධන v) නිකුත් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කර තිබේ.

 වැඩිදුර තොරතුරු සඳහා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2015 (සංශෝධන v) වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.