pic 1

  විශ්‍රාම වැටුප් සේවාවන් ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විශ්‍රාමිකයන් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) නිශ්චිත දිනයක් සහ නියමිත   වේලාවක්     වෙන්කරගත යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ සඳහා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙන අතර විශ්‍රාම වැටුප්   දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍යය   විශ්‍රාමිකයින් මෙම මෘදුකාංගය වෙත පිවිස අදාළ තොරතුරු පද්ධතිය වෙත ඇතුළත් කර වේලාවක් වෙන් කරවා ගත හැක.

  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත දිවයිනේ නන් දෙසින් විවිධ අවශ්‍යතා සඳහා විශ්‍රාමිකයන් නිරන්තරයෙන් පැමිණෙන දෙපාර්තමේන්තු පරීශ්‍රයකි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්   විශ්‍රාමිකයන් විශාල පිරිසක්   එකවර දෙපාර්තමේන්තුව වෙත ඒකරාශී වීම වළක්වා දෙපාර්තමේන්තුවට පැමිණෙන විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා මෙම නව ක්‍රමය   ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

  එසේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් මේ වන විට මාර්ගගත පද්ධතීන් හරහා ක්‍රියාත්මක වන බැවින් සේවාලාභීන්ට තමන්ට අවශ්‍ය සේවාවන්ට අදාල තොරතුරු විශ්‍රාම වැටුප්   දෙපාර්තමේන්තුවේ වෙබ්   අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. මීට අමතරව රාජකාරී කාලය තුල 1970 දුරකථන අංකය හරහාද ,ජංගම දුරකථන භාවිතය ( Sri Lanka Pensions Mobile App) හරහාද   තමන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධව තොරතුරු   විශ්‍රාමිකයන්ට පරික්ෂා කිරීමට පහසුකම ඇත.

  එසේම සියලුම විශ්‍රාමිකයන්ගේ හා සේවාලාභීන්ගේ පහසුව උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් පිලිබඳව විමසීමට හැකියාව පවති. එබැවින් පවතින   වසංගත තත්වය තුලදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සේවාලාභීන් වන රටේ ජ්‍යේෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙත සිය සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු වන ලෙස ඉහත දැක්වු පරිදි සිය සේවාවන් නිවසේ   සිට හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් හො ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනීමට උනන්දුවන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



   

pic 1

ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු රාජකාරී සඳහා සකස් කරනු ලැබූ නව මෙහෙයුම් පද්ධතිය පසු ගිය දා ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි. මෙම අවස්තාව සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ,ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත දේශප්‍රිය මහතා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා,විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් meet.gov.lk ඔස්සේ නිවෙස්වල සිට එක් වී සිටියේය.

ඒ අනුව ප්‍රථම අයදුම්පත ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ අයදුම්පතක් පද්ධතියට ඇතුළත් කරනු ලැබීය.

මේ වන විට අදාල වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අයදුම්පත්‍ර 500කට අධික සංඛ්‍යාවක් විවිධ ආයතන විසින් පද්ධතියට ඇතුළත් කර තිබේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය එම අයදුම්පත්‍ර පරික්ෂා කිරීම් ආරම්භ කර ඇත.

මෙම පරිගණක වැඩසටහන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ මුලිකත්වයෙන් සහ සංජේ ලංකා පුද්ගලික ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කර ඇත.



pic 1

උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ රාජකාරියන්හි නියුතුවන යුධ හමුදා නිලධාරීන්ගේ නිරෝධායන කටයුතු සඳහා කැළණිය වෙදමුල්ලේ පිහිටි විශ්‍රාමික නිවාඩු නිකේතනය යුධ හමුදාව වෙත භාර දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබම නිවාඩු නිකේතන පරිශ්‍රය තාවකාලික පදනමින් හමුදා නිලධාරීන් රාජකාරියෙන් වෙන් කිරීමේ මධ්‍යස්ථානක් ලෙස භාවිත කිරීමට හැකි වේ.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමේ සටනෙහි නියැළී සිටින වීරෝධාර හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් මෙම දායකත්වය ලබා දෙන අතර මේ වන විට කොවිඩ්-19 ක්‍රියාන්විතය සඳහා එක් වී වෛරසය ආසාධනය වීම නිසා රෝගාතුර වී සිටින ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටිමු.