pic 1
  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් කලමනාකරණය කරනු ලබන රාජ්‍ය සේවකයන්ගේ පවූලේ සාමාජිකයන් සඳහා වන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ වැන්දඹු අනත්දරු ගෙවීම් සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය    තවදුරටත් සරල කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නව ක්‍රමවේදය පිළිබද පැහැදිලි කරමින් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2020 මගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා සියලුම රජයේ නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර    ඇත. 

 “සෞභාග්‍යෙය් දැක්ම “ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව තොරතුරු තාක්ෂණය මත පදනම් වු සමාජයක් ගොඩනැගීම අරමුණු කරගෙන විශ්‍රාමිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට රජයෙන් සපයන සේවාවන්       වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.නව ක්‍රමය යටතේ විශ්‍රාම ලබමින් සිටි විශ්‍රාමිකයෙකු මියගිය විට ඔහු/ ඇය වෙනුවෙන් විශ්‍රාම වැටුප ආරම්භ කිරීම සඳහා අනුමැතිය   ලබාදීමේ බලතල ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් විසින් වැන්දඹුවගේ / අනත්දරුවන්ගේ හිමිකම තහවුරු කරගෙන ඔවුන් සඳහා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමට අනුමැතිය   තොරතුරු තාක්ෂණ පද්ධතියක් හරහා තහවුරු කල යුතු වේ.

 මෙමගින් වැන්දඹු අනත්දරු අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ගෙන්වාගෙන සක්‍රිය කිරීමට ගත කරන කාලය අවම කිරීමට කටයුතු කෙරෙන අතර   වැන්දඹු අනත්දරු සාමාජිකයා ඔහුගේ කාලත්‍රයා මියගිය   දිනට පසු මාසයේ සිටම වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකියාව ලැබේ.මීට අමතරව රාජකාරීයේ යෙදි සිටියදී මියයන නිලධාරීන් සඳහා වැන්දඹු   අනත්දරු විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමද හදුන්වාදෙන නව තොරතුරු තාක්ෂණ මොඩියුලය ඔස්සේම සිදු කිරීමට උපදෙස් නිකුත් කර ඇති අතර ඒ අනුව මාර්ගගත අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කල යුතු     වේ.

නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2020.03.15 දින සිට ක්‍රියාත්මක වේ.

pic 1

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට හිමි දුම්රිය බලපත්‍ර ලබා ගැනීමේ දී මෙතෙක් පැවති දුෂ්කරතාවයන් ඉවත් කරමින් සෘජුව ම දුම්රිය ස්ථානය වෙත සිය විශ්‍රාමික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර තත්ත්පර කිහිපයක් තුළ මාර්ගගත ක්‍රමයට E ප්‍රවේශපත්‍ර (ආසන වෙන් කර ගැනීම) ලබා ගැනීමේ ව්‍යාපෘතිය, ගරු ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්,ගරු රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ ගරු රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) කොටුව දුම්රිය ස්ථානයේ දී ආරම්භ විය.

නියමු වැඩසටහන ලෙසින් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ දී විශ්‍රාමික ප්‍රජාව සංකේතවත් වන පරිදි විශ්‍රාමිකයන් කිහිප දෙනෙකු වෙත E ප්‍රවේශපත්‍ර එම අවස්ථාවේදී ම ලබා දීම සිදු විය.

විශ්‍රාමිකයන් වෙත දුම්රිය බලපත්‍ර ලබා දීමේ දී පෙර පැවති ක්‍රමවේදය අනුව විශ්‍රාමිකයාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුම්රිය බලපත්‍ර ලබාගෙන ග්‍රාම නිලධාරි වරයා විසින් එය සම්පූර්ණ කර නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දී දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන එය දුම්රිය ස්ථානය වෙත ගෙන ගොස් භාරදීම මඟින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සිදු විය. පැවති ක්‍රමයේ පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් බොහෝ විශ්‍රාමිකයන් දුම්රිය බලපත්‍ර ලබා ගැනීම අත්හැර දමනු ලැබූ වාතාවරණයක නූතන තාක්ෂණික ක්‍රමවේදයන් හරහා කාලීන අවශ්‍යතාවයන් සරල කිරීමේ පියවරක් ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙමඟින්  දිවයින පුරා දුම්රිය ස්ථාන 53 ක දී මෙම සේවාව මාර්තු මස 01 වෙනිදා සිට ලබා ගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව සැලසේ.

ඒ අනුව විශ්‍රාමිකයන්ට සිය ජාතික හැඳුනුම්පත හෝ විශ්‍රාමික හැඳුනුම්පත අදාළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය හරහා E ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ හැකියාව තිබේ.

E - ප්‍රවේශ පත්‍ර විශ්‍රාමිකයන් වෙත පිරිනැමීමේ සමාරම්භක අවස්ථාවට එක් වූ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්, නව ක්‍රමවේදය මත විශ්‍රාමිකයාගේ කාලය සහ ශ්‍රමය අපතේ යවන ලද පෙර පැවති සංකීර්ණ ක්‍රමවේදය වෙනස් වීම හේතුවෙන් විශ්‍රාමිකයන්ට ඉමහත් පහසුවක් සැලසෙන බවත් දැනට රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ට ක්‍රියාත්මක කරන මෙම සේවාව ඉදිරියේ දී රාජ්‍ය අංශයේ නිලධාරීන්ට මෙන්ම පෞද්ගලික අංශය වෙත ද ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව ද සඳහන් කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සියලුම රාජ්‍ය සේවාවන් පහසු කිරීම සහ සරල කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති අතර ඒ අනුව යමින් විශ්‍රාමිකයන් සඳහා දුම්රිය බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය කෙටි කාල සීමාවක් තුළ සරල  සහ පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලබා දීම ජයග්‍රහණයක් බව මෙම අවස්ථාවට එක් වූ ලසන්ත අලගියවන්න අමාත්‍යතුමන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන් වෙත ලබා දෙන සේවාවන් නවීන තාක්ෂණය සමඟ බද්ධ කරමින් සරල ක්‍රමවේදයන් බවට පත් කිරීමට නිරන්තර උත්සාහ ගනු ලබන රාජ්‍ය ආයතනයක් වේ.දුම්රිය ප්‍රවේශ පත්‍ර,දුම්රිය ස්ථානයෙන්ම ලබා ගැනීමේ නව ක්‍රමවේදය විශ්‍රාමිකයන් සඳහා හඳුන්වා දෙනු ලබන වඩාත් සුවිශේෂී සේවාවක් වනු ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමන් සඳහන් කළේය.එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා දිනකට එන මහජනතාවගේ ප්‍රමාණය ද මෙවැනි ව්‍යාපෘති හරහා අවම කර ගැනීමට හැකි වෙතැයි සඳහන් කරනු ලැබීය.

මෙම අවස්ථාවට ගරු ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්,ගරු රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්,ගරු රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන්,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සිරිල් හෙට්ටිආරච්චි මැතිතුමන්,ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මැතිතුමන්,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා,දුම්රිය සාමාන්‍යධිකාරි එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා,ඩිජිටල් තොරතුරු හා යටිතල පහසුකම් සංවර්ධන අංශයේ අතිරේක ලේකම් වරුණ ධනපාල මැතිතුමන්, මොබිටෙල් ආයතනයේ නිලධාරීන්,විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කරමින් විශ්‍රාමිකයින් ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් එක් වී සිටියේය.









pic 1

විශ්‍රාමිකයන්ගේ දුම්රිය බලපත්‍රවලට අදාළව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය තව දුරටත් සරල හා පහසු කරමින් දුම්රිය බලපත්‍ර ලබා ගැනීමේ දී සෘජුවම දුම්රිය ස්ථානවලින් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබේ.

මේ සඳහා මීට පෙර පැවති ක්‍රමවේදය වන්නේ විශ්‍රාමිකයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පතක් ලබාගෙන ග්‍රාම නිලධාරි හරහා සම්පූර්ණ කරන ලද අයදුම්පත නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර නිදහස් දුම්රිය බලපත්‍ර ලබා ගෙන  දුම්රිය ස්ථාන වෙත ගොස් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම වේ. මෙය විශ්‍රාමිකයන්ගේ කාලය හා ශ්‍රමය වැයවන දුෂ්කර ක්‍රමවේදයක් බැවින් බොහෝ විශ්‍රාමිකයින් සිය නිදහස් දුම්රිය බලපත්‍රය භාවිතයට නොගෙන අත්හැර දමන අවස්ථා සුලබ විය.

මෙම ක්‍රමය 2016 වසරේ දී වෙනස් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සෘජුවම දුම්රිය බලපත්‍ර ලබාගෙන ඊට අදාළ ප්‍රවේශ පත්‍ර දුම්රිය ස්ථාන හරහා ලබා දීම ආරම්භ කරන ලදී.

මෙම සියලු තත්ත්වයන් වෙනස් කරමින් විශ්‍රාමිකයා වෙත සෘජුවම දුම්රිය ස්ථාන වෙත සිය හැඳුනුම්පත ඉදිරිපත් කර නිදහස් ප්‍රවේශ පත්‍ර ලබා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා මොබිටෙල් ආයතනය ඒකාබද්ධව කටයුතු සලසා ඇත.එමඟින් විශ්‍රාමිකයාට විශාල පහසුවක් සලසා ඇති අතර රජයට විශාල පරිපාලන පිරිවැයක් ද ඉතුරු කර දී තිබේ.

මේ සම්බන්ධ මූලික සාකච්ඡාව 2020.02.14 වන දින ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර දෙවැනි වටයේ සාකච්ඡා අද (17) වන දා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා,දුම්රිය සාමාන්‍යධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය 2020 පෙබරවාරි මස 19 වන දින නියමු ව්‍යාපෘතියක් ලෙස කොටුව දුම්රිය ස්ථානයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබේ.

වාර්ෂිකව විශ්‍රාමිකයන් සඳහා දුම්රිය බලපත්‍ර ලක්ෂයක් පමණ නිකුත් කරනු ලබන අතර එමඟින් දුම්රිය දෙපාර්තමේන්තුව රු. මිලියන 150 ක පමණ වාර්ෂික ආදායමක් ලබයි.