pic 1
 විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලියේ දී විශ්‍රාම වැටුප් ලාභියා ජීවතුන් අතර සිටින බවට තහවුරු කර ගැනීම සඳහා සෑම වසරකදීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,විශ්‍රාමික ප්‍රජාවගෙන් ලබා ගන්නා ජීවිත සහතිකය (Life Certificate) නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සමඟ බද්ධ කරමින් ජෛවමිතික (Biometric) ක්‍රමවේදය ට ලබා ගැනීම 2019.12.30 වන දින රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ආරම්භ විය.

ජීවිත සහතික අයදුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාමිකයන් වෙත ලබා දී එම දත්ත නැවත ලබා ගැනීම සඳහා පෙර පැවති දීර්ඝ කාලයක් ගතවන්නා වූ සංකීර්ණ ක්‍රමවේදය ඒ අනුව වඩා සරල වේගවත් ක්‍රමයක් බවට පත් වන අතරම නව ක්‍රමවේදය විශ්‍රාමිකයාට ද පහසුවෙන් සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් වේ. එමෙන්ම විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමෙන් ජීවත් වන බවට තහවුරු කර ගැනීම තුළින් පසුගිය කාල සීමාවේ දිගින් දිගට වාර්තා වූ විශ්‍රාම වැටුප් වංචා සිදු කිරීමේ අවස්ථා මෙම ක්‍රියාවලිය ඔස්සේ අවම කර ගැනීමට කිරීමට හැකියාව ලැබේ.

මෙම වැඩසටහනෙහි මූලික අදියර යටතේ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගිය නව මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වුණු විශ්‍රාමිකයන් සඳහා ඇඟිලි සලකුණ භාවිතයෙන් ජීවිත සහතිකය දීමට පහසුකම් සැලසීමට නියමිත ය.තව ද මෙය ක්‍රියාත්මක කිරීමේ දී සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල මීට අදාළ පහසුකම් සැපයීමට 2020 වර්ෂයේ දී කටයුතු කරනු ඇත.

ගෞරවණීය රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ විවේකී සුවයෙන් පසුවන විශ්‍රාමිකයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් දිනෙන් දින යාවත්කාලීන වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ප්‍රශංසනීය බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නව ජෛවමිතික පද්ධතිය දියත් කිරීමේ (Launch) අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේය.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ දැක්ම අනුව යමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ “සැමට විශ්‍රාම” (Pension For All) සංකල්පය සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඇතුළුව සමස්ත විශ්‍රාම වැටුප් ක්‍රමයේ විය යුතු සංශෝධනය පිළිබඳ යෝජනාවලිය ද මෙහි දී ලේකම්තුමන්ගේ ඇගයීමට ලක් විය.

තව ද මෙම අවස්ථාවට සහභාගී වූ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් එස්.සමරතුංග මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වර්තමාන ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් මීට වසර ගණනාවකට ඉහත පැවති අධික ලිපිගොණු,දූවිලි සහිත කාර්යාලීය පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දිනෙන් දින දියුණුවට පත් වෙමින් මහජනතාව වෙත නැඹුරු වූ අති විශිෂ්ඨ සේවාවක් සපයන රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය වීම වෙනුවෙන් වර්තමාන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට මෑත කාලීනව සිටි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරුන් සියලු දෙනාටම සමස්ත විශ්‍රාමිකයන්ගේ කෘතවේදීත්වය හිමි වන බව ප්‍රකාශ කර සිටියේය.

රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උළෙල සඳහා හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් වන සුධර්මා කරුණාරත්න මහත්මිය,ගෝඨාභය ජයරත්න මහතා,බී.පී.පී.එස් අබේගුණරත්න මහත්මිය සහභාගී වූ අතර විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා,අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී විය.   



pic 1
  ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ නවක නිලධාරීන්ගේ ප්‍රාරම්භක පුහුණුවෙහි එක් අදියරක් ලෙස පරිපාලනමය ගැටලුවලට පර්යේෂණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමට අදාළව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කළමනාකරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අරමුණින් 2019.12.05 සහ 2019.12.20 දෙදින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි ප්‍රායෝගික වැඩමුළුවක් සංවිධානය කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ නවක නිලධාරීන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි ක්‍රියාත්මක කළමනාකරණ ක්‍රියාවලියෙහි දැනට හඳුනාගෙන ඇති ගැටලුවලට අදාළව පර්යේෂණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමට අදාළ ක්‍රියාකාරකම්වල නිරත වන ලදී.

එහි දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි තොරතුරු තාක්ෂණ පද්ධති,පෙර පැවති ක්‍රියාවලීන්,පැරණි ලේඛණාගාර මෙන්ම විශ්‍රාම ගැනීමේ අරමුණින් පැමිණි නවක විශ්‍රාමිකයන් සමඟ සාකච්ඡා කිරීමට ද නවක නිලධාරීන් කටයුතු කරන ලදී.  



pic 1
  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සුභ සාධක සංගමය මඟින් සංවිධානය කළ වර්ෂාවසාන සංගීතමය විචිත්‍රාංගය 2019.12.23 වන දා සවස 2.00ට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.පුරා වසරක් අතිශයින්ම කාර්ය බහුල වූ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මනසට කිසියම් විවේකයක් ලබා දීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.මෙහි දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි මාණ්ඩලික නිලධාරීන් සේම අනෙකුත් නිලධාරීන් ද ගීත ගායනයෙන් උළෙල විචිත්‍රවත් කිරීමට දායක විය.

එමෙන්ම නත්තල් දිනය සහ පාසල් නිවාඩු සමය අළලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දූ පුතුන් වෙනුවෙන් ගීත විචාරාත්මක වැඩසටහනක් ,කෙටි ළමා චිත්‍රපටි ප්‍රදර්ශනයක් සහ විනෝදාත්මක පරිගණක ක්‍රීඩා ඇතුළු අංග බොහොමයක් එදින දවස පුරා සංවිධානය කර තිබූ අතර සහභාගී වූ සියලු දරුවන් සහ නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද සංවිධානය කර තිබුණි.

මේ සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ ජගත් ඩී ඩයස් මහතා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය සහභාගී වූ අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සුභ සාධක සංගමය මඟින් වැඩසටහන සංවිධානය කෙරිණි.