pic 1
  තම දිවියේ සොඳුරුතම කාලය දේශයේ උන්නතිය වෙනුවෙන් කැප කරමින් සමෘද්ධිමත් රටක් මතු පරපුරට දායාද කරන්නට දිවා රෑ තම දැනුම,කුසලතා,ආකල්ප මෙහෙයවූ ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජාතියේ උපහාරය පුදනුවස් සෑම වසරකම ඔක්තෝබර් 08 දා ජාතික විශ්‍රාමික දිනය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

ඒ අනුව මෙරට සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ම මහත් වූ අභිමානයෙන් යුතුව සැමරීමත් ඔවුන් සිදු කළා වූ පරමාදර්ශී මෙහෙවරට ප්‍රණාමය පුද කිරීම සඳහාත් මෙවර ජාතික විශ්‍රාමික දින උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන්, ගරු රාජ්‍ය පරිපාලන,ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ මෙහෙයවීමෙන් 2019 ඔක්තෝබර් මස 08 දින පෙ.ව 9.00 ට නෙළුම් පොකුණ රඟහලේ දී මහත් වූ උත්කර්ෂයෙන් යුතුව පැවැත්විණි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ ජගත් ඩී ඩයස් මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෙරට දැවැන්ත පෞද්ගලික ආයතනයන් සමඟ අත්වැල් බැඳගනිමින් දියත් කෙරුණු මෙම වැඩසටහන සඳහා දිවයිනේ විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා විශ්‍රාමික සංගම් නියෝජනය කරමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය.

රැඟුම් ගැයුම් වැයුම් සපිරි වින්දනීය හෝරා කිහිපයක අත්දැකීම විශ්‍රාමික පුරවැසියන්ට තිළිණ කළ මෙවර ජාතික විශ්‍රාමික දිනය රංගනයෙන් හා නර්තනයෙන් හැඩ ගැන්වූයේ ශ්‍රී ලංකා යුධ හමුදා පෙරදිග නර්තන කණ්ඩායමයි.ප්‍රවීණ ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පියකුවන රොඩ්නි වර්ණකුල ගේ ප්‍රහසනාත්මක රංගනය වේදිකාවට නවමු කළ එළියක් එක් කිරීමට සමත් විය.

2019 ජාතික විශ්‍රාමික දිනය වෙනුවෙන් සුභාශිංසන එක් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ආමන්ත්‍රණයෙන් අනතුරුව රාජ්‍ය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමන් විශ්‍රාමිකයන් වෙනුවෙන් සිය සුභාශිංසන එකතු කළේය.

මෙවර ජාතික විශ්‍රාමික දිනය වෙනුවෙන් ප්‍රධාන ආරාධිත දේශනය මෙරට සිටින ප්‍රධාන පෙළේ මානව හැකියා විශේෂඥ පුහුණු කරුවකු වන සනත් ගමගේ මහතා විසින් සිදු කරන ලදී. විශේෂයෙන් ම වියපත් මානසිකත්වය හා බැඳුණු සෘණාත්මක ආකල්පයන් ජය ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ඔහුගේ දෙසුම පැමිණ සිටි සියලු දෙනාගේ නොමද පැසසුමට ලක් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයන් විශාල සංඛ්‍යාවක් මෙම උළෙල සඳහා සිය දායකත්වය සපයා දී තිබිණි. ඒ අනුව ඩයලොග් ආසියාටා සමාගම මෙරට ජ්‍යෙෂ්ඨතමයන් වෙනුවෙන් හඳුන්වා දුන් Sri Lanka Pensions App නව තාක්ෂණික යෙදුම හඳුන්වා දීම ද එදින සිදු විය. මේ අයුරින් ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාමික දිවියට නවෝදයක් එක් කළ 2019 ජාතික විශ්‍රාමික දින සැමරුම නිමාවට පත් විය.  



pic 1
  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වැන්දඹු අනත්දරු අංශයේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ( හිටපු ) පී. චාන්දනී දෙනගම මෙනෙවිය අද උදෑසන (11 වන දා) අභාවප්‍රාප්ත විය.2012 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එක් වූ ඇය පුරා වසර හතකට ආසන්න කාලයක් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටු කරමින් 2019.01.01 දින සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවාය.විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව ද සිය දැනුම සහ උපදේශනය විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ලබා දෙමින් සිටින අතරතුර මෙලෙස දිවියෙන් සමුගනු ලැබුවාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු 2019.09.14 දින වාද්දුව ආදාහනාගරයේ දී පැවැත්වේ.

හදිසියේ අප අතරින් වියෝ වූ විශ්‍රාම වැටුප් හිටපු අධ්‍යක්ෂිකා පී චාන්දනී දෙනගම මෙනෙවිය වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත විශ්‍රාමික ප්‍රජාවගේ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමු. . 



pic 1
  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අතර සුහදතාවය,ශාරීරික යෝග්‍යතාව සහ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙපාර්තමේන්තු ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරඟාවලිය 2019.08.17 දින ටොරින්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

දෙපාර්තමේන්තුවේ විවිධ අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් සහභාගී වූ තරඟවාලියේ ශූරතාවය සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක රත්නායක මහතාගේ නායකත්වයෙන් යුත් ‘දිලෙන තරු’ කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරයින් බවට පත් වූයේ ‘ලයන්ස්’ කණ්ඩායමයි.තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශිරෝන් මධුශංක සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මයුමි අබේගුණසේකර සම්මාන හිමි කරගන්නා ලදී.තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක රත්නායක සම්මාන හිමි කර ගත් අතර තරඟාවලියේ දක්ෂතම පිතිකරුට හිමි සම්මාන දිනා ගත්තේ සුසන්ත කුමාර විසිනි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් සහ අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය යන මහත්වරුන් තරඟාවලියට එක්ව සිටි අතර සහෝදර නිලධාරීන් දිරිමත් කිරීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. .