නවතම පුවත් සහ සිදුවීම්
පොදු මහජනතාව හා විශ්‍රාමිකයින් වෙත කෙරෙන නිවේදනයයි!
ලේඛන හා සම්බන්ධ කටයුතු අප්‍රමාදීව හා විධිමත්ව සිදු කරමින් මෙරට විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් කාර්යක්ෂම හා වඩාත් ඵලදායි සේවාවක් ඉටු කිරීම කෙරෙහි අප දෙපාර්තමේන්තුව කැපවී සිටින්නෙමු.
උක්ත අරමුණ කෙරෙහි අවධානය යොමු කරමින් මහජන ගැටළු නිරාකරණයට හා අධීක්ෂණයට සතියේ සඳුදා හා බදාදා යන දෙදින පමණක් වෙන් කර තැබීමට තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි. සතියේ අනෙකුත් දිනයන් කාර්යාලයීය රාජකාරි කටයුතු වෙනුවෙන් වෙන් කිරීම මඟින් වඩාත් ඵලදායී සේවාවක් විශ්‍රාමිකයින් හා පොදු මහජනතාව වෙත සැපයීම අපගේ අපේක්ෂාව වේ.මේ සඳහා ඔබගේ සහයෝගය ලබාදෙමින් නිලධාරින් හමුවීමට සඳුදා හා බදාදා දිනයන්හි පමණක් පැමිණෙන ලෙස කාරුණිකව දැනුම් දෙමි.
චාමින්ද හෙට්ටිආරච්චි
විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්
2026 වසරේ රාජකාරි ඇරඹීම
2026 නව වසර පිළිගැනීම සහ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.01 දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ උපදෙස් අනුව රාජ්‍ය සේවා ප්රතිඥාවේ දිවුරුම් දෙමින් හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ ආරම්භ කළ කෙටි උත්සවයක් සමඟ නව වසරේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.
එහි දී චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දල්වා ආගමික වතාවත් සිදු කළ අතර රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවිපිදූ සියල්ලන් සිහිපත් කරනු ලැබිණි.
රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් ක්රමයේ ප්රතිලාභ ලබන 740,000ක් ඉක්මවූ ගෞරවණීය ජ්‍යෙෂ්ඨ ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන සේවාවන් තවදුරටත් ඉහළ ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම සඳහා 2026 වසර සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් නිලධාරීන් වෙත හඳුන්වා දීමට මෙහිදී විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන ලදී.
විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්තුමන් නව වසර වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අමතා සුභ පැතුම් එක් කළ අතර ගත වූ 2025 වසරේ දී විවිධ අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන් සියලු කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාවය පිරිනමනු ලැබීය.
ජාතික විශ්‍රාමික දිනය අභිමානයෙන් යුතුව සැමරේ
රටේ ශ්‍රම බලකාය නියෝජනය කරන ප්‍රධාන කොටස්කරුවන් වෙමින් සේවයෙන් විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවා ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ප්‍රජාව ගෞරවයෙන් සිහිපත් කරන දිනය සෑම වසරකම ඔක්තෝබර් 08 වැනි දිනට යෙදී තිබේ.
එම දිනය නිමිති කර ගනිමින් උදාරතර ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ප්‍රජාව වෙත උපහාර දැක්වීම සඳහා සංවිධානය කෙරුණු ‘ජාතික විශ්‍රාමික දිනය-2025’ සැමරුම ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වැනි දින කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතන පරිශ්‍රයේදී පැවැත්විණි.
පවතින නීති තත්ත්වයන් ප්‍රකාරව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවද බහුතරයක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින් තව දුරටත් සක්‍රීය සමාජ,ආර්ථික ජීවිතයක් ගත කිරීමට හැකි ශක්‍යතාවයෙන් හෙබිය. එවැනි අභිමානවත් ජ්‍යෙෂ්ඨයන් පරපුරක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුතුව මෙවර ජාතික විශ්‍රාමික දිනය සංවිධානය කෙරුණේ 'සවිමත්,සුවපත්,දිරිමත් දිවියක්' යන තේමාවෙනි.
එම තේමාව පෙරදැරිව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ප්‍රජාවගේ සෞඛ්‍ය රැකවරණයට ප්‍රමුඛතාවය දෙමින් වෛද්‍ය කඳවුරු, නොමිලේ වෛද්‍ය පරීක්ෂණ, ආයුර්වේද වෛද්‍ය උපදේශන සේවා සහ ප්‍රතිකාර, දේශන ඇතුළු විශ්‍රාම දිවිය ක්‍රියාකාරීව ගත කිරීම උදෙසා විශ්‍රාමිකයන් වෙත මාර්ගෝපදේශන සැපයීමට සංවිධානය කළ වැඩසටහන් මෙන්ම රසවින්දනාත්මක වැඩසටහන් කිහිපයක් ඔස්සේ උළෙල වර්ණවත් විය.
සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෞරවණීය මෙන්ම සැපවත් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට ඇති අයිතියට රජය හිස නමා ගරු කරන අතර එම අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා මෙන්ම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික වැටුප පියවරින් පියවරට වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමන් මෙහිදී විශ්‍රාමිකයන් හමුවේ පවසන ලදී. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝකබණ්ඩාර මහතා විශ්‍රාම වැටුප නියමිත වේලාවට විශ්‍රාමිකයන්ගේ අතට පත් කිරීමේ සිට ඔවුන් සමාජයීය හා ආර්ථික වශයෙන් දියුණු ප්‍රජාවක් කරා යන ගමනේ සෑම පියවරක්ම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශය පූර්ණ මැදිහත් වීම් සිදු කරන බව සඳහන් කළේය.
මෙවර ජාතික විශ්‍රාම දිනය උදා වුණේ 2025 අයවැය ප්රකාශනය අනුව විශ්‍රාමිකයන් වෙත ලැබුණු විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ ප්රතිලාභ විශ්‍රාමිකයන් බොහෝ දෙනෙකු වෙත ලැබී ඇති පසුබිමකය. ප්රතිලාභ හිමිවිය යුතු තවත් ඉතිරිව සිටින විශ්‍රාමිකයන් වෙත හැකි ඉක්මණින් එම ප්රතිලාභ ලබා දීමට පියවර ගන්නා බව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා මෙහිදී සඳහන් කරන ලදී. එමෙන්ම ඒ මහතා සඳහන් කළ ආකාරයට රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අනුව ද විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය තවදුරටත් නව්‍යකරණය වීමට නියමිතය. තවද නිල රාජකාරී ජීවිතය අවසන උදාවන නව ජීවිතය සක්‍රීයව ගත කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් රැසක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ලබා දීමට දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවද මෙහිදී පැවසිණි.
මෙම අවස්ථාවට ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් මැතිතුමන්, නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මැතිතුමන්, එම අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා ,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු ආරාධිත රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික කලාකරුවන් සහ විශ්‍රාමික සංගම් නියෝජනය කරමින් විශ්‍රාමික මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව ඩිජිටල් තොරතුරු තාක්ෂණික පද්ධතීන් පහක් ජනගත කරයි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ "විශ්‍රාම කළමනාකරණ දත්ත පද්ධතිය" (Pensions Management System) තවදුරටත් පුළුල් කරමින් නව ඩිජිටල් තාක්ෂණික පද්ධති පහක් එළිදැක්වීම 2025.01.17 වැනි දින රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව වැඩිදියුණු කරන ලද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය,විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය,විශ්‍රාමිකයන්ගේ දුම්රිය වොරන්ට් බලපත්‍ර මාර්ගතව වෙන් කර ගැනීම හා දුම්රිය බලපත්‍ර ලබාගැනීම සඳහා වන තොරතුරු පද්ධතිය ,වැන්දඹු අනත්දරු ක්රමයෙහි ලියාපදිංචි කිරීමේ නව තොරතුරු පද්ධතිය,රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ලියාපදිංචි කිරීමේ නව ප්‍රතිනිර්මාණය කරන ලද තොරතුරු පද්ධතිය යන දත්ත පද්ධති පහක් ජන ගත කිරීම සිදු විය.
නව තොරතුරු තාක්ෂණ පද්ධතීන් ඔස්සේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්වනු ලැබූ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් තවදුරටත් සරල හා විධිමත් කරන අතර ඔවුන්ගේ උරුමකරුවන්ගේ පසු ප්රතිලාභ තහවුරු කරමින් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය තවදුරටත් නිරවද්‍ය හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කරනු ලබයි.
පුළුල් ක්ෂේත්රයක පැතිරුණු සංකීර්ණ විෂය ක්ෂේත්රයක්වන විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය විශ්‍රාමිකයාගේ ඇඟිලි තුඩු මතට ගෙන ඒමේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඩිජිටල් තාක්ෂණික ප්රයත්නයන්, රාජ්‍ය සේවයට ඩිජිටල් ප්‍රවේශයක් ලබා දීමේ නව රාජ්‍ය ප්‍රතිපත්තිය යථාර්ථයට පත් කිරීමේ මුලික පියවරක් වනු ඇතැයි විෂය භාර අමාත්‍යවරයා මෙහිලා සඳහන් කරන ලදී.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය සිය අභ්‍යන්තර කාර්ය මණ්ඩලය මෙහෙයවීමෙන් මෙම සියලු පද්ධතීන් නිර්මාණය කිරීමට කටයුතු කළ අතර G2G සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,ලංකා බැංකුව මෙන්ම ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය මෙම දැවැන්ත ක්රියාදාමයේ පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන ලදී.
නව ඩිජිටල් තාක්ෂණික පද්ධතීන් ජනගත කෙරුණු අවස්ථාවට විෂය භාර අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා,රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්,විශ්‍රාමිකයන් සහභාගී විය.
නව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස චාමින්ද හෙට්ටිආරච්චි මහතා රාජකාරී ආරම්භ කළ වගයි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025.01.01 වැනි දින රාජකාරී ආරම්භ කරනු ලැබීය.