නවතම පුවත් සහ සිදුවීම්
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව ඩිජිටල් තොරතුරු තාක්ෂණික පද්ධතීන් පහක් ජනගත කරයි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ "විශ්‍රාම කළමනාකරණ දත්ත පද්ධතිය" (Pensions Management System) තවදුරටත් පුළුල් කරමින් නව ඩිජිටල් තාක්ෂණික පද්ධති පහක් එළිදැක්වීම 2025.01.17 වැනි දින රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව වැඩිදියුණු කරන ලද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය,විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය,විශ්‍රාමිකයන්ගේ දුම්රිය වොරන්ට් බලපත්‍ර මාර්ගතව වෙන් කර ගැනීම හා දුම්රිය බලපත්‍ර ලබාගැනීම සඳහා වන තොරතුරු පද්ධතිය ,වැන්දඹු අනත්දරු ක්රමයෙහි ලියාපදිංචි කිරීමේ නව තොරතුරු පද්ධතිය,රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ලියාපදිංචි කිරීමේ නව ප්‍රතිනිර්මාණය කරන ලද තොරතුරු පද්ධතිය යන දත්ත පද්ධති පහක් ජන ගත කිරීම සිදු විය.
නව තොරතුරු තාක්ෂණ පද්ධතීන් ඔස්සේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්වනු ලැබූ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් තවදුරටත් සරල හා විධිමත් කරන අතර ඔවුන්ගේ උරුමකරුවන්ගේ පසු ප්රතිලාභ තහවුරු කරමින් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය තවදුරටත් නිරවද්‍ය හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කරනු ලබයි.
පුළුල් ක්ෂේත්රයක පැතිරුණු සංකීර්ණ විෂය ක්ෂේත්රයක්වන විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය විශ්‍රාමිකයාගේ ඇඟිලි තුඩු මතට ගෙන ඒමේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඩිජිටල් තාක්ෂණික ප්රයත්නයන්, රාජ්‍ය සේවයට ඩිජිටල් ප්‍රවේශයක් ලබා දීමේ නව රාජ්‍ය ප්‍රතිපත්තිය යථාර්ථයට පත් කිරීමේ මුලික පියවරක් වනු ඇතැයි විෂය භාර අමාත්‍යවරයා මෙහිලා සඳහන් කරන ලදී.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය සිය අභ්‍යන්තර කාර්ය මණ්ඩලය මෙහෙයවීමෙන් මෙම සියලු පද්ධතීන් නිර්මාණය කිරීමට කටයුතු කළ අතර G2G සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,ලංකා බැංකුව මෙන්ම ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය මෙම දැවැන්ත ක්රියාදාමයේ පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන ලදී.
නව ඩිජිටල් තාක්ෂණික පද්ධතීන් ජනගත කෙරුණු අවස්ථාවට විෂය භාර අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා,රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්,විශ්‍රාමිකයන් සහභාගී විය.
රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරයි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විෂය භාර රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා 2024.12.27 වැනි දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අධීක්ෂණය කිරීමට එක් විය.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලබන සිවිල් හා සන්නද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සක්‍රීය කරන හා ඔවුන්ගේ උරුමකරුවන්ගේ ප්රතිලාභ ගෙවීම් කිරීම සඳහා දෙපාර්තමේන්තුව සකස් කර ඇති යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ලබන දෙපාර්තමේන්තුවේ මධ්‍යගත, විමධ්‍යගත, වැන්දඹු හා අනත්දරු,තොරතුරු තාක්ෂණ, ප්‍රතිපත්ති, සන්නද්ධ සේවා, විදේශ විශ්‍රාම, දායක මුදල්, අභ්‍යන්තර විගණන, ගිණුම්, පාලන,1970 කෙටි දුරකතන ඇමතුම් සේවාව, ලේඛනාගාරය යන සෑම අංශයක්ම ඔහුගේ පූර්ණ අධීක්ෂණයට ලක් විය.
විශ්‍රාම වැටුප් දත්ත කළමනාකරණ පද්ධතිය (PMS) හා ඒකාබද්ධ කරමින් විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලියේ අදියර ගණනාවක් මේ වන විටත් විශ්‍රාමිකයන්ට මාර්ගගතව ප්රවේශවීමට අවකාශය සලසා දී ඇති අතර එම ක්‍රියාවලිය මෙහෙයවනු ලබන දෙපාර්තමේන්තු ප්‍රධානි විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා වෙත හා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ඇතුළු දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කටයුතු කරනු ලබන නිලධාරීන් ඉටුකරනු ලබන මෙහෙවර වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන ලදී.
වසරකට 40,000කට අධිකව සක්‍රීය කරනු ලබන සිවිල් සහ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම ඇතුළු විශ්‍රාමිකයන් වෙත ලබා දෙන සේවාවන් තවදුරටත් සුහුරු හා පහසු ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශය සැලසුම් කර ඇති මාර්ගගත ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් ජනතාගත කිරීමේ වැඩපිළිවෙලට ද අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය.
රජයේ ප්‍රමුඛතම සමාජ ආරක්ෂණ ක්‍රමවේදය වන විශ්‍රාම වැටුප් ක්‍රමය තිරසරව පවත්වාගෙන යාමටත් එහි අඛණ්ඩ පැවැත්ම උදෙසා වසර ගණනාවක් පැරණි විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති සංශෝධනයටත් නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් නව රජයේ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා මෙහි ලා සඳහන් කරනු ලැබීය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා, අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා,අතිරේක විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් සුජානි පෙත්තාවඩු මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගී විය.
නව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස චාමින්ද හෙට්ටිආරච්චි මහතා රාජකාරී ආරම්භ කළ වගයි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025.01.01 වැනි දින රාජකාරී ආරම්භ කරනු ලැබීය.
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව 2025 වසර සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රාජකාරී ආරම්භය සනිටුහන් කිරීම
ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ "Clean SriLanka" වැඩසටහනට සමගාමීව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2025 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම අද (2025.01.01) දින සිදු කරනු ලැබීය.
ජාතික ධජය සහ විශ්‍රාම වැටුප් ධජය ඔසවමින් හා රට වෙනුවෙන් දිවි පිදූ සියලු දෙනා සිහිපත් කරමින් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දුන් දෙපාර්තමේන්තු නිලධාරීන් ආගමික වතාවත්වලට මෙන්ම කෙටි පිරිත් සජ්ජායනයකට ද සහභාගී වෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කරන ලදී.
අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතූ විශ්‍රාම වැටුප් අතිරේක අධ්යක්ෂ ජනරාල් සුජානි පෙත්තාවඩු මහත්මිය විශ්‍රාමිකයන් හා ඔවුන්ගේ උරුමකරුවන් වෙත විශ්‍රාම වැටුප් නියමිත වේලාවට ලබා දීම සඳහා 2024 වසරේ දී විවිධ අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් මහත් පරිශ්‍රමයෙන් කටයුතු කළ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යලයෙහි හා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජකාරී සිදු කරනු ලබන නිලධාරීන් වෙත කෘතඥතාවය පළ කරමින් නව වසර සඳහා සුබ පැතුම් එක් කරනු ලැබීය.
2024 වසර තුළදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිවිල්,සන්නද්ධ සේවා,වැන්දඹු අනත්දරු ඇතුළු 43,472ක් නව විශ්‍රාම වැටුප් ප්රතිලාභ සක්‍රීය කර ඇත.එමෙන්ම 2025 වසරේ දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය ක්රියාවලියෙහි දී මෙන්ම සෑම විශ්‍රාමික ලිපිගොණුවක් පිළිබඳවම සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස ඇය සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති "Clean Sri Lanka" ජාතික වැඩසටහනෙහි සජීවි විකාශය සමඟ එක් වී "Clean Sri Lanka" පුරවැසි ප්‍රතිඥාව ලබා දීමද සිදු කරනු ලැබීය.