රටේ ශ්‍රම බලකාය නියෝජනය කරන ප්‍රධාන කොටස්කරුවන් වෙමින් සේවයෙන් විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවා ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ප්‍රජාව ගෞරවයෙන් සිහිපත් කරන දිනය සෑම වසරකම ඔක්තෝබර් 08 වැනි දිනට යෙදී තිබේ.
එම දිනය නිමිති කර ගනිමින් උදාරතර ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ප්‍රජාව වෙත උපහාර දැක්වීම සඳහා සංවිධානය කෙරුණු ‘ජාතික විශ්‍රාමික දිනය-2025’ සැමරුම ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වැනි දින කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතන පරිශ්‍රයේදී පැවැත්විණි.
පවතින නීති තත්ත්වයන් ප්‍රකාරව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවද බහුතරයක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින් තව දුරටත් සක්‍රීය සමාජ,ආර්ථික ජීවිතයක් ගත කිරීමට හැකි ශක්‍යතාවයෙන් හෙබිය. එවැනි අභිමානවත් ජ්‍යෙෂ්ඨයන් පරපුරක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුතුව මෙවර ජාතික විශ්‍රාමික දිනය සංවිධානය කෙරුණේ 'සවිමත්,සුවපත්,දිරිමත් දිවියක්' යන තේමාවෙනි.
එම තේමාව පෙරදැරිව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ප්‍රජාවගේ සෞඛ්‍ය රැකවරණයට ප්‍රමුඛතාවය දෙමින් වෛද්‍ය කඳවුරු, නොමිලේ වෛද්‍ය පරීක්ෂණ, ආයුර්වේද වෛද්‍ය උපදේශන සේවා සහ ප්‍රතිකාර, දේශන ඇතුළු විශ්‍රාම දිවිය ක්‍රියාකාරීව ගත කිරීම උදෙසා විශ්‍රාමිකයන් වෙත මාර්ගෝපදේශන සැපයීමට සංවිධානය කළ වැඩසටහන් මෙන්ම රසවින්දනාත්මක වැඩසටහන් කිහිපයක් ඔස්සේ උළෙල වර්ණවත් විය.
සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෞරවණීය මෙන්ම සැපවත් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට ඇති අයිතියට රජය හිස නමා ගරු කරන අතර එම අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා මෙන්ම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික වැටුප පියවරින් පියවරට වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමන් මෙහිදී විශ්‍රාමිකයන් හමුවේ පවසන ලදී. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝකබණ්ඩාර මහතා විශ්‍රාම වැටුප නියමිත වේලාවට විශ්‍රාමිකයන්ගේ අතට පත් කිරීමේ සිට ඔවුන් සමාජයීය හා ආර්ථික වශයෙන් දියුණු ප්‍රජාවක් කරා යන ගමනේ සෑම පියවරක්ම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශය පූර්ණ මැදිහත් වීම් සිදු කරන බව සඳහන් කළේය.
මෙවර ජාතික විශ්‍රාම දිනය උදා වුණේ 2025 අයවැය ප්‍රකාශනය අනුව විශ්‍රාමිකයන් වෙත ලැබුණු විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ ප්‍රතිලාභ විශ්‍රාමිකයන් බොහෝ දෙනෙකු වෙත ලැබී ඇති පසුබිමකය. ප්‍රතිලාභ හිමිවිය යුතු තවත් ඉතිරිව සිටින විශ්‍රාමිකයන් වෙත හැකි ඉක්මණින් එම ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා මෙහිදී සඳහන් කරන ලදී. එමෙන්ම ඒ මහතා සඳහන් කළ ආකාරයට රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අනුව ද විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය තවදුරටත් නව්‍යකරණය වීමට නියමිතය. තවද නිල රාජකාරී ජීවිතය අවසන උදාවන නව ජීවිතය සක්‍රීයව ගත කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් රැසක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ලබා දීමට දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවද මෙහිදී පැවසිණි.
මෙම අවස්ථාවට ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් මැතිතුමන්, නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මැතිතුමන්, එම අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා ,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු ආරාධිත රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික කලාකරුවන් සහ විශ්‍රාමික සංගම් නියෝජනය කරමින් විශ්‍රාමික මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline